Tuesday, August 16, 2016

මාතෘකාවක් නෑ

මගෙ සාමාන්‍යය භාෂා භාවිතයෙන් වෙනස් වෙලා යමක් කියන්නයි මේ සූදානම. ඒත් ඊට කලින් 'මේ දවස් වල මුකුත් ලියන්නෙ නැද්ද බං..?' යැයි මගෙන් ඇසූ හිත මිත්‍රයන්ට හද පිරි මෙව්ව එක පුදන්න කැමතියි. මම නොලීවා නොව, ලී දේවල් සමාජ ජාලගත කරන්නට බැරි තරමට රැඩිකල් වූ නිසා සාමාජ ජාලගත නොකෙරුවා පමණි. (ඒ කියන්නෙ ඒවා වික්ටෝරියානු සුචරිතවාදය කියන බැටළු හම පොරවගෙන ඉන්න සුවහසක් ලාංකික නරි; ගතානුගතික ලාංකිකයන්ට නොදිරවන අදහස් බවයි.)

ඉතින්, මගේ කතා ශෛලියත් පැත්තක තියලා මේ කොන්ක්‍රීට් බංකුවක වාඩි වෙලා මම ඔබට යම් යම් කරුණු ටිකක් ගෙනහැර පාන්නයි සූදානම. ඒ ගැන මගේ මතය මම කියන්නෙ නැහැ. ඔබේ මතය මට කියන්න පුළුවනි නම් බොහොමත් ඉස්කෝතුයි. (ඉන් ඇඩ්වාන්ස්)
පළවෙනි එක තමයි, ගෙදරින් එළියට බැහැලා සාමාන්‍යය වේගෙන් එන බස් එකක ආවත් විනාඩි තිහෙන් විතර නුවරට එන්න පුළුවන් දුරින් ඉන්න මම, කානිවල් දෙකක් පහු කරනවා නුවර එන ගමනෙදි. එකක් කටුගස්තොට පාළම ළඟය. අනිකෙ තැන නොකියා ඉන්නවා යම් හේතුවක් මත. කානිවල් තිබීම හොඳය මමත් කැමතිය. ඒත් මේ අගෝස්තුවයි. ඒ කියන්නෙ සෑහෙන ළමයි ප්‍රමාණයක් ජීවිතේ කඩඉම් විබාගයක් ලියනවා. අනික් අතට සිරි දළදා මාළිගාවෙ පෙරහර තියෙනවා. ඔව්. ඒ 'සැදැහැ සිතින්' පෙරහර බලනවුන් ගේ ආතල් එක පිණිස තමයි කානිවල් තියෙන්නෙ. ගැලපෙන නොගැලපෙන බව හිතන්නට ඔබට භාරයි.
අනික් කාරණය තමයි, ජෝයි බෝට් ජැටිය පහු කරලා ඇවිත් කිරි මුහුදෙ සොරොව්ව ළඟින් පාර යටින් ඇවිත් රථ ගාලට එන මට, ඒ පොඩි ගමනෙදි උනත් සෑහෙන තරම් වීදි මිනිස්සු හම්බ උනා. සෑහ‍ෙන පිරිසක් ලක්සල පිටුපස බිම නිදි ය. පොඩි දරුවෝ පවා. මම මුකුත් නොකියමි. හිතන්න ඔබට භාරයි; පිරිසක් 'සැදැහැ සිතින්'පෙරහර වැඳ, කාබී විනොදවී ආතල් ගෙන ගෙදර යති. ඔවුනට බැලුම්බෝල, සුකුරුත්තම් අනම් මනම් විකුණා තවත් පිරිසක් වීදියේ නිදති. වෙන කොහදිවත් නොව, දන්ත ධාතුවට පෙරහර කර ගෞරව දක්වන සමයේ, එම නගරයේ දී, ඒ ග‍ෞරවය දක්වන්නා වූ මිනිස්සු ම ය.
--ඉවරයි--