Monday, December 12, 2016

සුන්දර වැලිගම් බොක්ක

අලර්ම් එකක් නැතත් සසර පුරුද්දට වගේ උදේ හයට මම ඇහැරෙනවා. මගේ ඇඳේම අනික් කොනේ අම්පරෙත්, එහා පැත්තේ ඇඳේ මරියත් තවම නිදි. කාමරෙන් එලියට බැහැල ඇඟමැලි කඩ කඩා ඉස්සරහ බැල්කනියට ගිය මගේ තිබුණු ලා නිදිමත ඌර්ධ්රවපාතනය වෙනවා.


උදේ පාන්දර වැලිගම් බොක්කේ ලා මුහුදු මීදුමට එලිය වැටිලා ලා දම් පාටක් ගැහිලා. බොක්ක ඇතුලෙම, එත් ටිකක් ඈත දියඹේ පොඩි මාළු ඔරු කිහිපයක් ම කළු හෙවනැලි වගේ පේනවා. තුන් වෙනි තට්ටුවේ කියල නැහැ, කිසිම චාරයක් නැතිව ඇදලා තියෙන විදුලි රැහැන් මගේ දර්ශනයට බාදා කරනවා.
 ඉතින් ආයේ කාමරයට දුවපු මම කැමරාවත් අරගෙන පල්ල්ලම් බැහල මූදූ වෙරළට දිව්වා.එත් දැන් අව්ව ටිකක් වැඩි වෙලා නිසා කලින් තිබුණු දම් පාට විසිරිලා ගිහින්, පාට අඩු වෙලා තිබුනා.


ඊයේ රෑ නමයට විතර මේ වෙරල දිගේ ඇවිදිද්දී අපිට හම්බ වුනු කකුළු බෙන වැඩ දියෙන් ආපු වැලි වලින් වැහිලා ගිහින්. ඒ බෙන හාරපු කකුළුවෝ ද කොහෙද දන්නේ නැහැ. එත් කකුළුවෝ බෙන හාරද්දී නිදාගෙන හිටපු මිනිස්සු නම් දැන් වෙරළට බැහැලා වැඩ පටන් අරගෙන. ලාංකික අපිට එතරම් ප්‍රිය නත්තත්, සුද්දෝ අතර ජනප්‍රිය සර්ෆින් ක්‍රීඩාව නවකයෙකුට පටන් ගන්න වැලිගම හොඳ තැනක් නිසා ඒ ආශ්‍රිත කර්මාන්ත වලින් ජීවිතය සරි කරගන්න මිනිස්සුයි ඒ.


මේ බෝට්ටුව දිහා හොඳට බලන්න.
මිනිස් පරිනාමයේ අලුත් පුරුකක් හොයාගන්න පුළුවන් වෙයි. ;-)


දවසේ පරිසර සුන්දරත්වය විඳීම තවත් ඉස්සරහට අරගෙන යන්නට ඕන නිසා, අයෙත් කාමරයට ඇවිත් අම්පරෙත්, මරියාවත් අහරවාගෙන ලෑස්තිවුනා. උදේ කෑම ගන්න වෙලාව වෙනකොට රෙකාත් ආපු නිසා තුන් දෙනාම වැලිගම ඉඳන්, කබ්බලේ කන්ද නගින බලාපොරොත්තුවෙන් ගාලු රත්නපුර බෝඩරේ තියෙන කන්නෙලිය බලා පිටත්වුනා.

කොමාවක් වැටිලා තිබුණු බ්ලොග් ලිවිල්ලට ආයේ පන දෙන්න ලියපු මේ ලිපියේ ඉතිරිය; කබ්බලේ කතාව පසුවට...




හොඳට බලන්න කිව්වට පේනවා අඩු නිසා තව පොටෝරුවක් දැම්මා.

Tuesday, August 16, 2016

මාතෘකාවක් නෑ

මගෙ සාමාන්‍යය භාෂා භාවිතයෙන් වෙනස් වෙලා යමක් කියන්නයි මේ සූදානම. ඒත් ඊට කලින් 'මේ දවස් වල මුකුත් ලියන්නෙ නැද්ද බං..?' යැයි මගෙන් ඇසූ හිත මිත්‍රයන්ට හද පිරි මෙව්ව එක පුදන්න කැමතියි. මම නොලීවා නොව, ලී දේවල් සමාජ ජාලගත කරන්නට බැරි තරමට රැඩිකල් වූ නිසා සාමාජ ජාලගත නොකෙරුවා පමණි. (ඒ කියන්නෙ ඒවා වික්ටෝරියානු සුචරිතවාදය කියන බැටළු හම පොරවගෙන ඉන්න සුවහසක් ලාංකික නරි; ගතානුගතික ලාංකිකයන්ට නොදිරවන අදහස් බවයි.)

ඉතින්, මගේ කතා ශෛලියත් පැත්තක තියලා මේ කොන්ක්‍රීට් බංකුවක වාඩි වෙලා මම ඔබට යම් යම් කරුණු ටිකක් ගෙනහැර පාන්නයි සූදානම. ඒ ගැන මගේ මතය මම කියන්නෙ නැහැ. ඔබේ මතය මට කියන්න පුළුවනි නම් බොහොමත් ඉස්කෝතුයි. (ඉන් ඇඩ්වාන්ස්)
පළවෙනි එක තමයි, ගෙදරින් එළියට බැහැලා සාමාන්‍යය වේගෙන් එන බස් එකක ආවත් විනාඩි තිහෙන් විතර නුවරට එන්න පුළුවන් දුරින් ඉන්න මම, කානිවල් දෙකක් පහු කරනවා නුවර එන ගමනෙදි. එකක් කටුගස්තොට පාළම ළඟය. අනිකෙ තැන නොකියා ඉන්නවා යම් හේතුවක් මත. කානිවල් තිබීම හොඳය මමත් කැමතිය. ඒත් මේ අගෝස්තුවයි. ඒ කියන්නෙ සෑහෙන ළමයි ප්‍රමාණයක් ජීවිතේ කඩඉම් විබාගයක් ලියනවා. අනික් අතට සිරි දළදා මාළිගාවෙ පෙරහර තියෙනවා. ඔව්. ඒ 'සැදැහැ සිතින්' පෙරහර බලනවුන් ගේ ආතල් එක පිණිස තමයි කානිවල් තියෙන්නෙ. ගැලපෙන නොගැලපෙන බව හිතන්නට ඔබට භාරයි.
අනික් කාරණය තමයි, ජෝයි බෝට් ජැටිය පහු කරලා ඇවිත් කිරි මුහුදෙ සොරොව්ව ළඟින් පාර යටින් ඇවිත් රථ ගාලට එන මට, ඒ පොඩි ගමනෙදි උනත් සෑහෙන තරම් වීදි මිනිස්සු හම්බ උනා. සෑහ‍ෙන පිරිසක් ලක්සල පිටුපස බිම නිදි ය. පොඩි දරුවෝ පවා. මම මුකුත් නොකියමි. හිතන්න ඔබට භාරයි; පිරිසක් 'සැදැහැ සිතින්'පෙරහර වැඳ, කාබී විනොදවී ආතල් ගෙන ගෙදර යති. ඔවුනට බැලුම්බෝල, සුකුරුත්තම් අනම් මනම් විකුණා තවත් පිරිසක් වීදියේ නිදති. වෙන කොහදිවත් නොව, දන්ත ධාතුවට පෙරහර කර ගෞරව දක්වන සමයේ, එම නගරයේ දී, ඒ ග‍ෞරවය දක්වන්නා වූ මිනිස්සු ම ය.
--ඉවරයි--

Wednesday, July 27, 2016

සක්මන

වෙනදා වගේම උදේ ඇවිත් මම මාළිගාව ඉස්සරහා බහිනවා... මගෙ පිටිපස්සෙංම බස් එකෙන් බිමට පැනපු කොන්දොස්තර අයියා, මට ඉතුරු නොදීපු රුපියල ඇතුලුව තවත් කාසි ටිකක් ඒ ළඟම තියෙන සුදු පාට පිඟන් ගඩොල් අල්ලපු බෝධිගරයෙ පිං කැටේට දාල වඳිනවා.
වැව දිහාට ඇවිදගෙන ගිය මම, කෙටි පඩි තුනක් නැගලා පදික වේදිකාවට ගොඩ වෙනවා... අද මගුල් නැකැත් ඇති දවසක් වෙන්නෝනි. මගුල් යුවලක් වැව රවුමෙ පින්තූර ගන්නවා. ඒ දැක මගේ හිතත් විලිබර වෙනවා; ඒ කැමරාව ඉදිරියේ ඉන්නට මගේ ඇති අකැමැත්ත නිසා ද නැතිනම් එ් යුවලගේ ආල රැඟුම නිසා ද කියලා තෝරගන්න බැරුව මම ඇස් ඉවතට ඇද ගන්නවා.
 සමහර දාට වැවේම කොලපාට වතුර සුදු පාටට උඩට විසි
කරන වතුර මල අද වැඩ නැහැ. පුරුද්දට දකුණට හැරෙන්න ගියත් බලෙන්ම වමට හැරිලා වැව අයින දිගේ, වලාකුළු බැම්මත් කළු උස යකඩ වැටත් මැද්දෙන් මම උල්පැන්ගේ දිහාට ඇවිදින්න පටන් ගන්නවා.
An image from Google. 
ඒ කළු පාට වැට පටන්ග න්න අඩි දෙක තුනක් මෙහායින් අඩි දෙකක් විතර උස, සුදු පාට හුණු ගාපු, මට දැන් මතක
නැති මොකක් හරි සංකේත වගයක් කළු පාටට ඔබ්බවලා තියෙන කණුව පහු කරගෙන මම අතීත මතකයට එබෙනවා. ඒ කණුවෙ ඉඳන් තමයි නුවර ඉඳන් වෙන ඕන තැනකට දුර කියන්නෙ. කොළඹ කොටුව දුම්රියපොල ඉස්සරහත් එහෙම එකක් තියෙන බව මතක් වෙනවා.
මීට අවුරුද්දකට කලිං, අවුරුදු දෙකක් පුරාවට උදේ බස් එකෙන් බැහැලා ඇවිත්, නුවර තියෙන ඒ කණුව
කෙලින් වලාකුළු බැම්මට හේත්තුවක් දාගෙන, ඉස්කෝලෙට පයින් යන ගමන් කයියක් දාන්න අඳුරන කවුරු හරි එනකම් හිටපු මාව මට මතක් වෙනවා.
සාමාන්‍යයෙන් නොපළඳින අත් ඔරලෝසුව කරකවලා උඩට හරවාගෙන වෙලාව බලන මම, මගේ ගමනාන්තයට යන්නට තව ගොඩක් වෙලා තියෙන නිසා ගියර් එක මාරු කරලා වේගෙ අඩු කරනවා.
මට වෙලාව තිබුණත්, වෙලාව නැත්තටම නැති සේවයට යන අය මාව පහු කරගෙන නගරයට දුවනවා. ඒ දුවන මූණු අතර හුරු පුරුදු මුහුණක් තියෙනව ද කියලා මම එබිලා බලනවා. මීට අවුරුද්දකට කලින්, අවුරුදු දෙකක්
තිස්සෙ උදේ එකම වෙලාවකට මේ පාර දිගේ මේ විදිහටම පාද යාත්‍රා කරපු මට, ඒ කාලෙ හමුවුණු මුහුණු; දැකලා දැකලාම කවුද කියලා නොදතත් 'සුබ උදෑසනක්' අරුතැතිව හිනා වෙලා යන මූණු එකක් වත් අද පේන්න නැහැ.
ඒ අද වෙලාව ටිකක් වෙනස් නිසා ද එහෙමත් නැති නම් ඒ අයත් මම වගේම වෙනස් පාරවල් වල යන නිසා ද කියලා
හිතහිත මම ඉස්සරහට යනවා.
ඔබ මාළිගාවට ඇවිත් තියෙනවා නම්, ඇවිත් හොඳ
සිහියෙන් හිටියා නම්, වෙන පූජාස්තාන වලට අරක් ගත්තු සුවිප් වෙලෙන්දෝ මේ අහල පහල වැඩිය නැති බව පෙනෙන්නෝනි.
ඒක එසේ වෙතත්, මම මේ යන පාර‍ෙ එහෙම අය දෙන්නෙක් ඉන්නවා. ඒ යම් විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකා කියලයි මට හිතෙන්නෙ. ම‍ොක ද මේ දැන් මම පහු කරපු ඒ වයසක අත්තම්මා; සුදු ඔසරියක් ඇඳලා, ස්විප්
මිටියක් අතදරාගෙන කාටවත් කරදරයක් නොකර, කිසි සද්දයක් නැතිව, කුවුරු හරි ඇවිත් ස්විප් ගන්නකම් බලාගෙන ඉන්න නිසා.
ඇයට ටිකක් එහායින් අයෙක්, ඇය පිටදීගෙන
හිටපු වලාකුළු බැම්ම‍ෙ තීන්ත ගාගෙන ඇය දිහාවට එනවා. ඒ දුටු මට, එහෙනම් ඊයෙ හවස වැවේ වතුරම පොම්ප කරලා මේ බැම්මෙ කුපුටු, පරෙවි වසුරු හෝදලා අරින්න ඇති කියලා හිතෙන්නෙ, කලින් දවසක ඒ වගේ පොම්ප කරපු වතුර පාරක් අත් වැරදීමකින් වැදිලා මගේ පා දෝවනය වෙලා තියෙන හින්දා.
ඒ අතරෙ අර කලින් කිව්ව ඔෆිස් දුවන මිනිස්සු අතරෙ,
හෙමින් හෙමින් අඩි තියමින් යන පෙම් යුගල කීපයකුත්, මම වගේම නගරෙන් එළියට ඇදෙන තවත් කිහිප දෙනෙකුත් මගෙ ඇහැ ගැටෙනවා.
අඩු වේග ගියරයක උනත් මම හිතුවාට වඩා කලින් මම උල්පැන්ගේ ළඟට සැපත් වෙනවා. අවුරුදු බර ගානකට කලින්, රාජ ලලනාවන්ගෙ පැන් පාසුවට හදපු ඒ ගොඩනැගිල්ල දැන් ටකරං වහලයකිනුත්, කොල
දැල්වලිනුත් වහගෙන සංරක්ෂණය කරන නිසා, අවුරුද්දකට කලිං මම හැමදාම උදේ කරා වගේ උල්පැන්ගේ ළඟ පිං කැට පේලිය ඉස්සරහා හිටගෙන, මම ගෙනියන දිග කුඩේ ඒ ඉස්සරහා බැම්මට හේත්තු කරලා, මේ පාරෙ, වැඩහිඳින මාළිගාවට ළඟම තැනට වෙලා වඳින්න ඉඩ නැහැ. ඉතිං ඊට ටිකක් මෙහායින්, පත්තිරිප්පුව කෙලින් තියෙන මාර ගහ හෙවනෙ ඉඳං මම වඳිනවා; අතලොස්සක් වැඩිහිටියන්ට පමණක් වඳින මගෙන් වැඳුම් ලබන අජෛවී වස්තු දෙකෙන් එකක් ලෙස. අනික් අජෛවී වස්තුව අනුරපුරේ  සිරිමහ බෝධිය.
හරියටම මම කියපු ඒ මාර ගහ යට ඉඳලා, කළු යකඩ වැට අස්සෙන්
අත දාල මමම කලින් දවසක ගත්තු ඡයරුපයක්.
ආයෙත් හැරිලා මම මගේ ගමන පටන් ගන්නවා. දෙන්නෙක්ට මාරු වෙන්න ඉඩක් නැති අර කොල දැලත්, කළු යකඩ වැටත් අතර මඟ මම ඉන්නවා දැක දැකත් අනික් පැත්තෙන් ඇතුළු වෙච්ච හතලිස් ගණනක ගැහැණියක්, දැලට තෙරපිලා මම හදලා දුන්න ඉඩෙන්, මටත් ඔරවගෙන නගරෙට දුවනවා.
ඒ පහු කරගෙන තව ඉස්සරහට යද්දි මාළිගාවෙ කුණු ගෙනියන ටැට්ටරේ හම්බවෙනවා. කහපාට ටී ෂර්ට් ඇඳගතතු දෙමළ පිරිමි, බෞද්ධයො බුදුන්ට පුදපු පර මල්, කුණු ලොරියට පටවනවා. ඒ පර මල් වල ගඳ මට දැනුනත්, ටිකක් ඈතින් අපේ සහෝදර පාසලක් තෙත්බිම් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන කෘතීම තෙත් බිම් කඩක් මත නැගගත් පාත්තයෙක්ගෙ පින්තූර ගන්න සුදු
ජෝඩුවට දැනුනු පාටක් නැහැ.
ඒ ජෝඩුව ළඟම කළු උස යකඩ වැටට හේත්තු වෙලා අර මම කලින් කිව්ව දෙවැනි ස්විප් විකුණන්නා ඉන්නවා. ඔහු
අන්ධයි. ඇස් යට ලේ රතු පාටයි. මුහුණ අහිංසක යි. හැමදාම වගේ ළඟ ඇති පොඩි රේඩියෝවෙ බ‍ෞද්ධ ගීතයක් හෝ ආශ්‍රිත යමක් වාදනය වෙනවා. විශේෂ වරප්‍රසාදයට ඔහු සුදුසුයි කියලා හිතෙනවා. අද ඔහු ළඟ මිනිසෙක් නැවතිලා. ලා රතු කමිසයකුත්, කළු කලිසමකුත්, රබර් සෙරෙප්පු යුගලකුත් හැඳ පොඩි වුනු ඉටි බෑගයක් අතගත් ඔහු දෛනික කුලී කම්කරුවකු විය යුතු බව මම නිගමනය කරනවා. බඩගින්නෙ හිටපු කෙනෙක්ට මිස තවකෙකුගේ බඩගින්න නොදැනෙන බව මට සිහිවෙනවා.
නැවත ඔරලෝසුව බලපු මම ඉස්සරහට හම්බවෙන කන්ද දාඩිය නොවැටෙන ගානට යන්නට වෙලා තියෙන බව හිතමින් කළු යකඩ වැට අවසන වමට හැරී විශ්‍රාම ශාලාව ඉස්සරහ පඩිපෙල නැග අශ්ටවංක වීදියට ( චන්ද්‍රවංක
වීදියද මන්දා) පිවිසෙනවා. පෙරහර කාලෙට අලි බැඳ තබන මේ වීදිය දෙපස පොලවට එබ්බවූ යකඩ කොකු ගැට තියෙනවා. කවදාවත් නැතුව ඒ කොකු ගනින්න පටන්ගත්තු මට, ඒ වැඩේ අතාරින්න උනේ ඉස්සරහින් ආ අයෝම්‍යය මනුස්සයෙක් මාව නවත්තපු නිසා. ඒ තවත් හිතවතෙක්. අහඹු ලෙස ප්‍රදර්ශනයක වැඩකදී හමුවුනු ඔහු, විටින් විට පසුවත් මට මුන ගැහැනු නිසාමදෝ දැන් හිතවතෙකි. උණුසුම් සමුගැනීමකින් පසු ඔහු නැවත තම බැංකු රාජකාරියට දිව යන්න‍ පටන් ගන්නවා. මම ඉදිරියට ඇදෙනවා; මගේ පාසල දිහාවට.

Monday, July 18, 2016

හැන්දෑව

මහනුවරට පායන්නෙ මුළු ලෝකෙටම පායන එකම ඉර උනත්, කඳුකර වලාකුළු වලිනුත්, සැලකිය යුතු මට්ටමකට දුමිනුත් පෙරිලා එන නිසාදෝ හවස හතර පහ වෙනකොට වැටෙන අව්ව රස්නෙයක් නොව උණුහුමක් දනවනවා. ඒත් කර වටක් වතුරෙ බැහැගෙන ඉන්න මට උණුහුමකට වඩා සීතල නැති මායිම පවත්තවා ගන්න විතරයි ඒ ඉර එලිය උදව් කරන්නෙ.
රැන්ඩල්ස් කන්දයි, හීරැස්සගලයි අතරෙ කොළඹ නුවර පාරට උඩින් ගලාගෙන එන ගිනිකොණින් හමන හුළං රැළි, නුවර නගරය පහු කරගෙන, උඩවත්තකැලේ කන්දයි ධර්මරාජ කන්දයි අතරෙ කපොල්ලෙං පල්ලෙකැලේ පැත්තට පල්ලං බහින්නෙ අර මම කිව්ව සීතල නැති සීමාවෙන් මාව පහළට ඇදල දාල සීතල දනවන්නට වගෙයි.


ඒ සීතල පැත්තක තියල ලා ජබුවක් ගහගෙන පිහිනුම් තටාකෙ අග්ගිස්සෙ තියලා තියෙන වතුර බෝතල‍ේ ගාවට මම යනකොට එහා පැත්තෙ ශ්‍රවනාගාරෙ නාට්‍යයක් පුරුදු වෙනව ඇහෙනවා. ටිකක් හුරු පුරුදු කටහඬවල් ඇහෙන ගතියක් දැනුනත්, ඒ කටහඬවල්වල අයිතිකාරය‍ො මේ වෙනකොට මම වගේම පාසල් කාලය ඉවර කරල නිසා ඒ මගේ හිත කියලා මම මටම කියා ගන්නවා. එහෙම කියාගෙන වතුර බොතලේ අතට අරගෙන, මූඩිය ඇරලා, මූඩියෙ යට පැත්ත තටාක වතුරෙ ගෑවෙන්නෙ නැති වෙන්න චූටි ඇඟිල්ලෙ පටලවාගෙන වතුර උගුරක් කටට හලාගන්නවා. හම්මේ... දිව්‍ය ලෝක රසයක්... සීතල පැණි රහක්. මෙච්චර වතුර කඳක බැහැල හිටියත් ඒ වතුර බොන්න බැරිව තියෙන එක එක අතකට හිනා යන වැඩක් උනත්, ඔබේ මගේ ජීවිත වලදි ඊට අනුරූපව, කොයි තරම් සිද්ධි, අවස්තා මතුවෙනව ද කියලා හිත හිත, අර මගේ වතුර බෝතලේ වතුරෙ පැණි රහක් ආවෙ මම දවල්ට කාපු ලූණු කොල සම්බෝලෙ ජීව වාය ගුඩුස් එක්ක කලවම් වෙලා වෙන්න ඕනි කියලා අදහසක් පහළ වෙනවා.


වතුර බෝතල‍ේ වහල ආයෙ වතුර‍ට බහින මට ඈත ක්‍රීඩාගාරෙ ඉඳං පුහුණුකාරතුමා ඉඟියෙන් කියනවා "නවතින්නෙ නැතුව දිගටම යන්න". ඒත් සතියක් උණ හෙමිබිරිසිසාවක් විඳලා, දවල්ට කාපුවත් උගුරට ඇවිත් ඉන්න මට කකුලක් උස්සගන්නත් පණ නැහැ. ලාංකික අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න මගෙ ගාව තිබුණු ක්‍රීඩා විභවයන් මොට වෙලා කියලා හිතෙනවා.

පීනා නා කියාගෙන ඉවර වෙලා ආයෙ නිකං වතුරෙන් නාන්න ගිය වෙලාවෙ ප‍ොඩ්ඩෙක්, "අයියා කීයෙ ද ඉන්නෙ..?
😀" ඒ කාලෙ අපිටත් ලොකු අය්යලා දැක්කම හිතෙන පළවෙනිම ප්‍රශ්නෙ මගෙං පස්සෙ පරම්පරාවෙ මලයෙක් මගෙං අහනවා. "මල්ලි මම ඉස්කෝලෙ ගිහිං ඉවරයි 😃" "ඇත්ත ද...?😱" මෙච්චර ඇඟෙන් වයසෙන් ලොකු වෙලත් තමන්ට තරම් වත් පීනගන්න බැරි අය්යාව දැකලා පොඩ්ඩා පුදුම වෙනවා.

දෙවන දිග හැරුම. කොළඹ වීදියෙ වාහනේ නතර කරලා මම එනවා වැල් බෝධිය දිහාවට. දවසේ රාජකාරි ඉවර කරලා අනික් පැත්තෙ බස් නැවතුම දිහාට දුවන මිනිස්සු වගේම ගැහැණුත් වේගෙන් මාව පහු කරගෙන යනවා. එ් අතරෙ වෙළඳාම් ඉවර කරලා කඩවල් වහන වෙළෙන්දො, 'මෙයා මොනවා හරි ගන්න ද දන්නෑ' බැලුම් හෙලනවා.
ඒ හැමෝම පහුකරගෙන පෙර කල ත්‍රීකුණාමල වීදිය වෙච්චි, දැන් ඩී ඇස් සේනානායක වීදිය පැනලා කොළඹ වීදියෙ අග්ගිස්සට මම ඇතුළු වෙනවා.


වැඩි හරියක් මාළිගාවට යන්න මිනිස්සු ආපු වාහන නතර කරලා තියෙන මේ හරියෙ තැනින් තැනින් ලයිට් කණුවල එල්ලාපු කහපාට විදුලි බල්බ ඒ වාහන උණුහුම් කහ පාටකින් නහවනවා. ඒ කහ ගැහිච්ච එළිය, තමන්ගෙ රාත්‍රී ආලෝක ප්‍රභවය කරගත්තු, දැලි කුණු ගාගත්තු, රෙදි පෙරෙදි මහ ගොඩක් පොරවගත්තු වයසක හිඟන්නො කිහිපදෙනෙක්ම පරණ පාට ගොඩනැගිලි වල ඉස්සරහා රතු සිමෙන්ති පඩි උඩ දිගෑදිලා නිදා ගෙන ඉන්නවා. ඒ අයත් දැක්ක නොදැක්ක ගානට පහු කරගෙන ගිහිං එක ගොඩනැගිල්ලක අර කලිං කිව්වා වගේ ඉස්සරහා තිබුණු රතු සිමෙන්ති පඩි දෙකක් නැගපු මම තව ටිකක් ඇතුළට ගිහිං මහ පඩි පෙල නගින්න ගන්නවා.

පඩි කොටහක් නැගලා, අත්වාරුවට බර දීලා දකුණු කකුලේ අඩිය පොලොවට තද කරලා පැද්දිලා වංගුව අරගෙන තවත් පඩි කොටහක් නැගලා මම පළවෙනි තට්ටුවට ළඟා වෙනවා. එ්ක බියුටි සැලෝන් එකක්. දවල් වරුවෙ එනක‍ොට මූණට වැටිච්ච කොණ්ඩ කෑල්ල ගස්සලා අහක බලාගන්න අක්කා මේ වෙලාවෙ නැහැ. දොර වහලා. ඉතිං මම කලිං වගේම අනික් පඩි කොටස් දෙක නැගලා ඊළඟ තට්ටුවට එනවා... ඒ පඩි කොටස් දෙකෙන් එකක් නගිනකොටම ඒ තට්ටුවෙ තියෙන්නෙ මොකක් ද කියලා ඉව වැටෙනවා... ඔව්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉව වැටෙනවා... ජිමි ගඳ කියලා එ්කට නම දාන්න ඕනි කියලා හිතනකොටම සල බලාාාං ගාල මඟුල් මේසෙ අයිනෙ ටිෂූ පේපර් පඩිපෙලකට මැදි වෙච්ච පිඟන් ගොඩක් කාගෙදෝ අත වැදිලා බිම වැ‍ටුණා වගේ සද්දයක් එනවා. ඒ කවුරු හරි උස්සපු යකඩ ගොඩක් බිම පතබෑවුණු සද්දෙ... සද්දෙත් අහගෙන නහයත් අකුලගෙන තුන්වෙන් තට්ටුවට ආපු මම සම්පූර්ණයෙන් ඇරලා තිබුණු දොර ඇතුලෙන් බැල්මක් හෙලනවා. කොහෙන් කැපුවත් කිලෝ විසි හතරක් විතර වෙන්න ඇඟ තියෙන අයියා කෙනෙක් පිළිගැනීමේ මේසෙට වෙලා මොනාදෝ ලියනවා... ඊට ටිකක් එහායින් හිටිය හිතලා බලලා කැපුවොත් අමාරුවෙන් කිලෝ බාගයයි හාදයෙක් මාව දැකලා ලා බැල්මක් හෙලලා ආයෙත් හොඳට හුස්මක් අරගෙන ඇද ඇද හිටපු බර පටලපු යකඩ පොල්ල අදින්න ගන්නවා...


ඒකත් පහු කරගෙන ඊළඟ ත‍ට්ටුවට ගොඩ වෙච්ච මම පඩිපෙළ අයිනෙම දාල තිබුණු, කවුරුත් නැති පුටු පේළියෙ එකක වාඩි වෙනවා...
අවුරුදු කිහිපයකට පෙර කල මතක සැමරුම මතක් කර කර මේක කොටපු මට, මටත් උගන්නපු ඒ ගුරුතුමිය මල්ලිගෙ පන්තිය ඉවර කරන්න යන බවක් දැනෙනවා... බඩත් ගොර ගොර සද්ද දාන නිසා ඉතින් මම නවතිනවා. ඔබට සුබ රැයක්.
😊


ප.ලි. : සිද්ධි දාමය ඇතුලේ හැංගිච්ච අර්ථය ගැන හිතුනු ඔබේ අදහසුත් කොටගෙන යනවා නම් වටිනවා. J


Thursday, July 14, 2016

ලොකු ද..?

අදට, දැනට කරන්න තියෙන වැඩ ටික ඉවර කරලා ඔන්න මම ඉඳ ගත්තා ලියන්න. මම ඉන්න තැන සැහෙන උසකින් තියෙන නිසාත්, හුලන් කපොල්ලක් අග්ගිස්සේ තියෙන නිසාත්, හැම විනාඩි තුනෙන් තුනටම වගේ හූස් හූස් සද්දයක් ගෙන හුලන් කෝඩයක් යන්නේ ඇලුමිනියම් වලින් හදල, මොකක් හරි හේතුවකට රබර් බීඩින් නොදාපු ජනෙල් පලු දෙදරවාගෙන ටෝකල ටොක ටොක සද්දයක් දාගෙන.

අද දවසේ ලියන්න කියල හිතාගෙන ඉඳගත්තු කතාව ලියන්න කලින්, වැරදි වටහාගනීම් වැලැක්වීම පිණිස කියන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම විද්‍යා කාරයෙක් උනත් මගේ පවුලේ පවා බහුතරය කළා සහ වාණිජ විෂය ධාරාවන්ට සම්බන්ද බවත්, පෞද්ගලිකව මිනිස්සු ලෙස ගත කල්හී මම කැමති බොහෝ අය විද්‍යා කාරයෝ නොවන බවත්.
ඉතින් අද කතාවට නිමිත්ත මෙකයි; මම කාලෙකට කලින් දාපු twitter පෝස්ටුවක්.
විද්‍යා කාරයෝ අපූරුවට කලාවට සම්බන්දව වැඩ වගේම පරිපාලන සහ වාණිජ කටයුතු කළත්, කළා හෝ වාණිජ කාරයෝ විද්‍යාවට නැඹුරු වීමක් නැති බව.
මෙතැනදී අදාළ විෂය පථයන් මම බෙදුවේ උසස් පෙළ විෂය ධාරාවන්ට අනු කූලව මිස, උසස් අධ්‍යාපන හෝ  රාජකාරීමය තත්වයන්ට අදාලව නොවන බව කියන්නට අවශ්‍ය වෙන්නේ, මුලින් කී twitter පොස්ටුවේ අදහස සමහර අය වැරදියට ග්‍රහණය කරගෙන තිබුණු නිසා.
ඒ අදහස පහල වෙන්න හේතුව හැටියට මට හිතෙන්නේ, හය වසරේ ඉඳල දිගටම වගේ පාසලේ සංගීත වැඩ වලට සම්බන්ද වෙලා වැඩ කරපු නිසා කළා සහ වාණිජ විෂය ධාරා වන්ට යොමුවූ මගේ මිත්‍රයන්, ඒ විෂයන්ට යොමු වෙන්න පෙර සහ පසු කාල වලදී දක්වපු අදහස් වල මම දැකපු වෙනස් වීම්.
ඔය කිව්වට උඩ වාක්‍ය පැටලිලි සහගත තරමට දිගයි  වගේ... කතාව සරලව කියමු.
සාමාන්‍ය පෙලට එනකම් එකම විෂයන් ඉගෙනගත්තු එකම කොලු නඩේ, විද්‍යා විෂයන් වගේම ඉතිහාසය, භාෂාව වගේ විෂයනුත් කිසි වෙනසක් නැතුව ඉගෙන ගන්නවා. නමුත් උසස් පෙළ ඇවිත් කට්ටිය විෂයන් වලට බෙදෙනවා. ඒ බෙදිලා ගියාට පස්සේ, mind twister ප්‍රශ්නයක් දෙගොල්ලගෙන් ඇහුවොත් විද්‍යා කාරයා ඒකට බොහොම ආසාවෙන් ඔට්ටු වෙන අතරේ, කළා වාණිජ මිත්‍රයෝ අනේ බන් අපිට ඕව බෑ ආකල්පයක් දරනවා. ඒක එහෙම උනත් චිත්‍රයක් අඳින්න, සංගීත වැඩකට, වෙනත් භාෂාවක් ඉගෙන ගන්න විද්‍යා කාරයෝ පස්ස ගහන ගතිය අඩු බවයි මට දැනිල තියෙන්නේ.
අයෙත් කියන්න ඕනි. මේ කියන්න හදන්නේ විද්‍යා විෂය කරපු අයගේ ලොකුයි, අනික් අයගේ පොඩියි කියල නම් නෙමෙයි. එත් ඒ ඒ විෂය ධාරා වලට යොමු වෙන අයගේ ආකල්ප වල දරුණු වෙනසක් සිද්ද වෙන බව. ඒක දරුනු වෙනසක් විදිහට මම ගණන් ගන්නේ නම්, ඕනි කෙනෙකුට ඕනිම දෙයක් ඉගෙන ගන්න පුළුවන් බවට මගේ තියෙන විශ්වාසය හින්දයි.
ඉතින් මම කාලෙකට කලින් කියපු කතාවක් අයෙත් ඇදලා ගන්න හේතු වුනු නිමිත්තත් කියලම ඉන්නම්. දන්නා කියන, අත්දැකීම් ඇති ගුරු වරියක්. ඇය පහ වසරට උගන්වන්නේ. එතුමිය ඉන්න පාසලට අලුතින් උපාධි ධාරී ගුරු වරියන් ඇවිත්. කළා උපාධි ධාරීන්. ඒ ගුරු වරියන්ට පහ වසරේ ළමයින්ට දෙන ගණන් හදාගත නොහැකි බව.
මම දැකපු දේවල් ඒ විදිහට සටහන් කරලා, නිගමනයක් හෝ, ඒ අඩු පාඩුවට මම දකින හේතුවක් වගේම පිළියමකුත් නොකියා මම මෙතනින් ලිපිය නතර කරන්න හිතුව. ඒ ගැන තව දුරටත් හිතීම, මට වඩා අත්දැකීම් වගේම වයසින් වැඩි ඔබට භාරයි. ඒ හිතුනු දේවල් කොමෙන්ටුවල කොටගෙන යන්න පුලුවනිනම් අගෙයි.

අපි යනවා දිවා භෝජනයට එහෙනම්. සුභ දවසක්.

Wednesday, July 13, 2016

අ(ා)ලය

මේක ටිකක් අමුතු ලිවිල්ලක්. හේතුව අද දවසට කොටන තුන්වෙනි ලිපිය වගේම, ලියන්නෙ අද දවස ඉවර වෙන්න විනාඩි දහනමයක් තියාගෙන.
අඩි පහක් විතර ඈතින් බිත්තියට එක පැතතක් හේත්තු වෙන්න තියපු ඇඳේ නිදාගෙන ඉන්න මල්ලිගෙ හුස්ම වැටෙන සද්දෙයි, ම‍ේ කාමරෙත්, තව කාමරේකත් ඔරලෝසු වල තප්පර කටු වල ටොක ටොකෙත් විතරයි ඇහෙන්නෙ. ඒ අතරෙ එළියෙ රැහැයියෙක් කෑ ගහන සද්දෙත්, බස් වල බ්රේක් සද්දත් ලාවට සැරින් සැරේට ඇහෙනවා.
මුනින් අතට අැඳේ වැතිරිලා හිටපු මම බෙල්ල ඇදුං කන නිසා අනික් පැත්ත හැරුණම, අද හඳ නැති දවසක් බව පෙනුනෙ, හඳ තියෙනවා නම් අනිවාර්යයෙන් මගෙ කාමරේ ජනේල වලින් හොල්මන් බේරෙන හඳ එළියක් වැටෙන නිසා.
හඳ එලිය ගැනත් කියාගෙන මම මේ පල්ලං බහින්නෙ හරියට සතියකට කලින් දුටු සිද්ධියක් ගැන පණ්ඩිත පසු විපරමක් කරන්න. 😂
සිද්ධිය තමයි පෙම් ආරවුලක්. ඉකිය තද කරගෙන හඬන කෙල්ලත්, ඇය අස්වසන්නට මොනාදෝ බෙරි කරගත්තු මූණින් යුතුව කියන කොල්ලත් එතන හිටිය අයගෙ ඇස් කොනින් ලද බැලුමින් නැහැවී හිටියත් එයාලට ඒක ගානක් ගිහින් තිබුණේ නැහැ.
හැබෑට ඉතිං ඒක එහෙම වෙන්නත් එපැයි.  කියන්න අමතක උනානෙ, මේ සිද්ධිය වෙන්නෙ නුවර ප්‍රධාන බස් නැවතුම්පොළේ. 
Image from Google
එ කියන්නෙ අධික ජන ඝනත්වයක තියෙන තැනක්. විමසුම් ඇස් කීයක් ඒ පලහිලව්වට යොමුවෙන්න ඇති ද කියලා හිතා ගන්නකො ඉතිං. බස් නැවතුමේ හමු උනු නිසාත්, දුටු පමණින් මට හිතුනු නිසාත් ඒ යුවල උ.පෙ ඉගෙනන්න වයසෙ වෙන්න ඕනි. මේ ජවනිකාව දැකලා මට අතීත කතා, මම කළ ගොං කං වගේම කරන්න ගිහින් කරගන්න බැරි වෙච්ච ගොං කනුත් මතක් උනා.
ඒත් ඒක ගොං කමක් ද කියන ප්‍රශ්නයත් මගෙ හිතට කාන්දු උනේ, ඒ අවස්තාවලදි ලබපු අත්දැකීම් ජීවිත කාලෙටම අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් කියලා දැන් තේරෙන නිසා.
හැඟීම් වලට වහල් වීම, මොළයෙන් නොව හදවතින් තීරණ ගැනීම, අවස්තාවන් මග ඇරීම, නිවැරදි වෙලාවට තීරණ ක්‍රියත්මක නොකිරීම වගේ මෙකී නොකී ගොං කං වල දිට්ඨදම්මවේදනීය කර්ම විපාක විඳවන්න හොඳම කාලය මේ ආලය කරන කාලය බවයි මගේ හැඟීම.
ඒ වගේම පුදගලයින් විවිධාකාර නිසා ආල ජෝඩුත් විවිධාකාර උනත්, මේ කියපු කාරණා අඩු වැඩි වශයෙන් ඒ ආල කතාවලත් තියෙනවා කියලා හිතෙනවා.
ඔය කෝක කොහොම වෙතත් අමෘතෙ උනත් වැඩිය බිව්වොත් සීනි අමාරුව හැදෙනවා වගේ, ආලය වැඩි උනාමත් මිනිස්සු අලයො වෙනවා. මොක ද ආලය වැඩි උනාම මිත්‍රයො එක්ක පිස්සුවක් කෙලගෙන ජොලියෙ හිටපු කොල්ලො වගේම කෙල්ල‍ොත් තම ආලවන්තයා හෝ තිය එක්ක ආලෙන් වෙලී එතී ඇඹරී මෙලෝ රහක් නැතුව යන නිසා.
ඒක නම් කිව්වෙ මේ මගේම මිත්‍රයෙක් මතක් කරගෙන. 😏
ආලයට දෙපැත්ත කැපෙන පිහියක් කියන්න මම කැමති ඒ නිසයි. මනුස්ස අපිට ආලය නැතුවත් බැරිය. ඒත් අඩු හෝ වැඩි නොවන ලෙස පමණ දැන නිවැරදි වෙලාවට නිවැරදි ලෙස කළමනාකරණය කරගෙන පාවිච්චි කිරීම යුගලනය වූ, වෙන්නට බලාපොරොත්තු වන ඔබ අතේය.
වෙන අය කෙල්ල එක්ක පුෂ්ප නෙළන සමය කැප කර මේ ලිපිය ලියූ මා නෙත් දැන් කඳලින් බරව ඇත්තෙ එදා ඒ දුටු කෙල්ලගෙ නෙත් වාගේමය. ඉතිං මම නිදමි. පවන් සලන්නට කෙනෙක් නැති නිසා. කවුළු පියන් ඇරිය යුතුය. 😋 සු.උ.
ප.ලි: අද උදේ මේක ආයෙත් කියවපු වෙලේ, නිදි මරගාතෙ ලියපුවාගේ හරියටම වාක්‍යය ගැලපිලා නැති ගතියක් දැනුනත් අව්‍යාජත්වය මැකිලා යන නිසා ඒවා හරිගස්සන්නෙ නැහැ. ඒ වගේම කියන්නෝනි, කොට බැම්මෙදි වගේ අදත් උදේ වේලාසනින් වැඩි නිසා මාළිගාව ළඟ බැහැලා මාකැට්ටුව ගාවට ඇවිදගෙන ආ ගමනෙදි, උපකාරක පන්ති යන්න ඇවිත් ඒක පැත්තක තියලා ආලෙන් වෙලෙන්න යුගල ගැහිලා දඩාවතේ යන ජෝඩු දැකලා දුකක්, සතුටක් වගේම ජුගුප්සාවක් මිශ්‍ර වෙච්චි අමුතු හැඟීමක් දැනුනු බව. 😃

Tuesday, July 12, 2016

කොට බැම්ම

වෙලාව හතයි හතලිස් පහයි. මම මේ නුවර ක්වීන්ස් එක ගාව කොට බැම්මක වාඩි වෙලා ඉන්නවා... ඇයි මට වෙන වැඩ නැද්ද...? නෑ තියෙනවා... ඒත් ඔෆිස් බස් එක එන්නෙ අටයි කාලට මාකට් එක ගාවට.එතන කපුටු ගුවන් ප්‍රහාර වලට බයේ පපුව ගැහි ගැහී ඉන්නවට වඩා, මාළිගාව ළඟින් බැහැලා මෙතන ඉඳගෙන ඉන්න එක සැපයි කියලා හිතුනා. 😊
ඒත් ඉතිං මොන මගුලට ද මම කලිං ආවෙ කියලා අහන්නැද්ද..? ඔව් මේකයි. මේ රටේ තත්වෙ තමයි. දවසින් දවසට පාරෙ ඉන්න වෙන වෙලාව වෙනස් වෙනවා. උදේම ආවොත් විනාඩි විස්සෙන් ගෙදර ඉඳන් නුවරට එන මට, සමහර දවස් වලට පැය එක හමාරක් යනවා ඒ ගමනම එන්න. ඉතිං අද කලිං ආපු දවසක්. කරන්න වැඩක් නැතිව මම ලතැවෙනවා. උ.පෙ ඉවර කරලා ඊ ෆැක් එකට කෙල හල හල ඉන්න මම ක්ලාස් එකක් කරා නම් පැයකට දාහක් වත් ගන්නවා. එතක‍ොට මම මේ බැමි කොටේ උඩ ඉඳගෙන දාහෙ කොලයක් කීතු කීකු කර කර ඉන්නවා වගේ හැඟීමක් දැන් මට පහල වෙනවා.
දැන් ඒ කතාව ඉවර කරමු. ඔහොම බැන ඉැන ගියොත් මම හැම කෙනාටම බනීවි. ඒ නිසා දේසෙ හැටියට වාසෙ කියලා ඉමු.
මෙතනට පේනවා පොලිස් මහත්තුරු දෙන්නෙක් හතර අතට අත් වන වන වාහන වගේම මිනිස්සු හසුරුවනවා. සංඥා ලාම්පු වගේම පාරෙ ඊතලත් ගහලා තියෙන මේ වගේ හන්දියක පොලිස් මහත්තුරුන්ගෙ අවශ්‍යතාව ගැන මට එන්නෙ කුකුසක්. ඒ කියන්නෙ අපේ රියදුරු රියැදුරියො වගේම පදිකයො ඉතාම විනය ගරුකයි...? ආච්චිගෙ වස්ත්‍රය. 😂 තප්පර ගානක වාසියක් වෙනුවෙන් ජීවිතේ ඇපේට තියලා කහ ඉරට පනින පදිකයො වගේම දකුණෙන් වගේම වමෙනුත් අනිකාව ඉස්සර කරගෙන යන්න දඟලන රියැදුරෝත් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවා ද..? ඔය තප්පර දෙක ඉස්සර වෙන්න හදන්‍ෙ ඉර ගහන්න කලිං කන්තොර්වට යා ගන්න ද..? ඇයි ඉතිං ඔක්කොමලා ටිකක් කලිං ගෙදරින් ඇවිත් පිළි වෙලට පාරෙ ගිහින් වෙලාවට කන්කෝරුවට යා නොගන්නෙ..? ඒ විනය අපේ ප්‍රෞඩ ඉතිහාසයක සාඩම්බර උරුම කරුවන් වන අපි ගාව නැත්තෙ ඇයි..? කොතැන ද වැරැද්ද..? කවුද ඒ වැරැද්දට පිළියම් යෙසිය යුත්තේ..?
ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් මම මොරලා නැහැ කියලයි විසි වියැති මගේ හිත කියන්නෙ. ඒ නිසා ප්‍රශ්න ටික හිතේ දරාගෙන මම දැන් නැගිටින්න ඕනි මාර්කැට්ටුව ගාවට පයිං කොටන්න. බසය මිස් උනොත් හන්තාන කන්ද පයිං බඩ ගාන්න වෙනවා නැතිනම්. ඔබට ජය. 😊
අද දිනට දෙවන දිග හැරුම. වැඩ නිමවෙලා ගෙදර යන ගමන්. මේ දැන් තමයි තනි දොරේ සිලෝං ටකරං බසය කටුගස්තොට හෝල්ට් එකට ගොඩ උනේ. වෙනදා කට කපලා, නැතිනං පැවලා උතුරලා දොරේ වගේම කරෙත් මිනිස්සු එල්ලිලා යන බස් එක හිස්. නුවර ඉඳං මෙතනට එනකම් බස් එකේ මිනිස්සු හිටියෙ නැහැ අතේ ඇඟිලි ගණනට වත්. පාර අයිනෙ කඩල කරත්තෙක කඩල පෙරලනවා මුදලාලි. දුම් දම ඒ කඩ කන්ද දැක්කම බඩගින්නක් ආවත් මම දන්නවා මම ඒ කඩල කන්නෙ නැහැ කියලා. සේප්ටි පස්ට්. ඕවා කාල හෙට බඩ ගෙදර තියලා තමයි වැඩට යන්න වෙන්නේ... 😂
ඉතිං කියන්නං ඒ ගැන වචනයක්. 'තම්බි හැතිකරේ, බිස්නස් අල්ලං' කියලා බනින සිංහල අපේ කඩේ කට බඩුවක් ගන්න ගියාම මුදලාලි ඉන්නෙ 'පුළුවනි නම් මෙතනින් බඩු අරං පල' ගානට. ඉතිං කොහෙද බිස්නස් කරන්නේ.. ඒ වගේම, උපතින් සිංහල උනාට මෙක නොකියා බෑ. සිංහලයා කුහකයා. තමංගෙ කඩේ බඩු නැත්තං, අන්න අර කඩේ බඩු තියෙනවා කියලා මුස්ලිම් දෙමල මිනිස්සු අැර සිංහලයෙක් කියතොත් පීළි නැතුව කෝච්චි දුවනවා සිකුරුයි. 😏  ඕක මේක කෙසේ වෙතත් කුණු විකුණන්න අපෙ මිනිස්සු හරි දස්සයි. කුණු කිව්වෙ බාල බඩු. ඒ ගැන ඔබලාටත් අත්දැකීම් ඇති නෙව. ඒ නිසා ඒ ගැන ඇද නොබාමි.
දැන් බහින්න කිට්ටුයි. බුරේක් එකටයි, ඇක්සලරේටරයටයි බර දුන්නාම දෙදරුං කන, වංගුවලදි පැත්තට වැනෙන බස්එකේ ඉඳං මේක කොට කොට ඇවිත් මටත් ඕක්කාරෙට වගේ. නවතිමි දැනට. 😊