Monday, July 18, 2016

හැන්දෑව

මහනුවරට පායන්නෙ මුළු ලෝකෙටම පායන එකම ඉර උනත්, කඳුකර වලාකුළු වලිනුත්, සැලකිය යුතු මට්ටමකට දුමිනුත් පෙරිලා එන නිසාදෝ හවස හතර පහ වෙනකොට වැටෙන අව්ව රස්නෙයක් නොව උණුහුමක් දනවනවා. ඒත් කර වටක් වතුරෙ බැහැගෙන ඉන්න මට උණුහුමකට වඩා සීතල නැති මායිම පවත්තවා ගන්න විතරයි ඒ ඉර එලිය උදව් කරන්නෙ.
රැන්ඩල්ස් කන්දයි, හීරැස්සගලයි අතරෙ කොළඹ නුවර පාරට උඩින් ගලාගෙන එන ගිනිකොණින් හමන හුළං රැළි, නුවර නගරය පහු කරගෙන, උඩවත්තකැලේ කන්දයි ධර්මරාජ කන්දයි අතරෙ කපොල්ලෙං පල්ලෙකැලේ පැත්තට පල්ලං බහින්නෙ අර මම කිව්ව සීතල නැති සීමාවෙන් මාව පහළට ඇදල දාල සීතල දනවන්නට වගෙයි.


ඒ සීතල පැත්තක තියල ලා ජබුවක් ගහගෙන පිහිනුම් තටාකෙ අග්ගිස්සෙ තියලා තියෙන වතුර බෝතල‍ේ ගාවට මම යනකොට එහා පැත්තෙ ශ්‍රවනාගාරෙ නාට්‍යයක් පුරුදු වෙනව ඇහෙනවා. ටිකක් හුරු පුරුදු කටහඬවල් ඇහෙන ගතියක් දැනුනත්, ඒ කටහඬවල්වල අයිතිකාරය‍ො මේ වෙනකොට මම වගේම පාසල් කාලය ඉවර කරල නිසා ඒ මගේ හිත කියලා මම මටම කියා ගන්නවා. එහෙම කියාගෙන වතුර බොතලේ අතට අරගෙන, මූඩිය ඇරලා, මූඩියෙ යට පැත්ත තටාක වතුරෙ ගෑවෙන්නෙ නැති වෙන්න චූටි ඇඟිල්ලෙ පටලවාගෙන වතුර උගුරක් කටට හලාගන්නවා. හම්මේ... දිව්‍ය ලෝක රසයක්... සීතල පැණි රහක්. මෙච්චර වතුර කඳක බැහැල හිටියත් ඒ වතුර බොන්න බැරිව තියෙන එක එක අතකට හිනා යන වැඩක් උනත්, ඔබේ මගේ ජීවිත වලදි ඊට අනුරූපව, කොයි තරම් සිද්ධි, අවස්තා මතුවෙනව ද කියලා හිත හිත, අර මගේ වතුර බෝතලේ වතුරෙ පැණි රහක් ආවෙ මම දවල්ට කාපු ලූණු කොල සම්බෝලෙ ජීව වාය ගුඩුස් එක්ක කලවම් වෙලා වෙන්න ඕනි කියලා අදහසක් පහළ වෙනවා.


වතුර බෝතල‍ේ වහල ආයෙ වතුර‍ට බහින මට ඈත ක්‍රීඩාගාරෙ ඉඳං පුහුණුකාරතුමා ඉඟියෙන් කියනවා "නවතින්නෙ නැතුව දිගටම යන්න". ඒත් සතියක් උණ හෙමිබිරිසිසාවක් විඳලා, දවල්ට කාපුවත් උගුරට ඇවිත් ඉන්න මට කකුලක් උස්සගන්නත් පණ නැහැ. ලාංකික අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න මගෙ ගාව තිබුණු ක්‍රීඩා විභවයන් මොට වෙලා කියලා හිතෙනවා.

පීනා නා කියාගෙන ඉවර වෙලා ආයෙ නිකං වතුරෙන් නාන්න ගිය වෙලාවෙ ප‍ොඩ්ඩෙක්, "අයියා කීයෙ ද ඉන්නෙ..?
😀" ඒ කාලෙ අපිටත් ලොකු අය්යලා දැක්කම හිතෙන පළවෙනිම ප්‍රශ්නෙ මගෙං පස්සෙ පරම්පරාවෙ මලයෙක් මගෙං අහනවා. "මල්ලි මම ඉස්කෝලෙ ගිහිං ඉවරයි 😃" "ඇත්ත ද...?😱" මෙච්චර ඇඟෙන් වයසෙන් ලොකු වෙලත් තමන්ට තරම් වත් පීනගන්න බැරි අය්යාව දැකලා පොඩ්ඩා පුදුම වෙනවා.

දෙවන දිග හැරුම. කොළඹ වීදියෙ වාහනේ නතර කරලා මම එනවා වැල් බෝධිය දිහාවට. දවසේ රාජකාරි ඉවර කරලා අනික් පැත්තෙ බස් නැවතුම දිහාට දුවන මිනිස්සු වගේම ගැහැණුත් වේගෙන් මාව පහු කරගෙන යනවා. එ් අතරෙ වෙළඳාම් ඉවර කරලා කඩවල් වහන වෙළෙන්දො, 'මෙයා මොනවා හරි ගන්න ද දන්නෑ' බැලුම් හෙලනවා.
ඒ හැමෝම පහුකරගෙන පෙර කල ත්‍රීකුණාමල වීදිය වෙච්චි, දැන් ඩී ඇස් සේනානායක වීදිය පැනලා කොළඹ වීදියෙ අග්ගිස්සට මම ඇතුළු වෙනවා.


වැඩි හරියක් මාළිගාවට යන්න මිනිස්සු ආපු වාහන නතර කරලා තියෙන මේ හරියෙ තැනින් තැනින් ලයිට් කණුවල එල්ලාපු කහපාට විදුලි බල්බ ඒ වාහන උණුහුම් කහ පාටකින් නහවනවා. ඒ කහ ගැහිච්ච එළිය, තමන්ගෙ රාත්‍රී ආලෝක ප්‍රභවය කරගත්තු, දැලි කුණු ගාගත්තු, රෙදි පෙරෙදි මහ ගොඩක් පොරවගත්තු වයසක හිඟන්නො කිහිපදෙනෙක්ම පරණ පාට ගොඩනැගිලි වල ඉස්සරහා රතු සිමෙන්ති පඩි උඩ දිගෑදිලා නිදා ගෙන ඉන්නවා. ඒ අයත් දැක්ක නොදැක්ක ගානට පහු කරගෙන ගිහිං එක ගොඩනැගිල්ලක අර කලිං කිව්වා වගේ ඉස්සරහා තිබුණු රතු සිමෙන්ති පඩි දෙකක් නැගපු මම තව ටිකක් ඇතුළට ගිහිං මහ පඩි පෙල නගින්න ගන්නවා.

පඩි කොටහක් නැගලා, අත්වාරුවට බර දීලා දකුණු කකුලේ අඩිය පොලොවට තද කරලා පැද්දිලා වංගුව අරගෙන තවත් පඩි කොටහක් නැගලා මම පළවෙනි තට්ටුවට ළඟා වෙනවා. එ්ක බියුටි සැලෝන් එකක්. දවල් වරුවෙ එනක‍ොට මූණට වැටිච්ච කොණ්ඩ කෑල්ල ගස්සලා අහක බලාගන්න අක්කා මේ වෙලාවෙ නැහැ. දොර වහලා. ඉතිං මම කලිං වගේම අනික් පඩි කොටස් දෙක නැගලා ඊළඟ තට්ටුවට එනවා... ඒ පඩි කොටස් දෙකෙන් එකක් නගිනකොටම ඒ තට්ටුවෙ තියෙන්නෙ මොකක් ද කියලා ඉව වැටෙනවා... ඔව්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉව වැටෙනවා... ජිමි ගඳ කියලා එ්කට නම දාන්න ඕනි කියලා හිතනකොටම සල බලාාාං ගාල මඟුල් මේසෙ අයිනෙ ටිෂූ පේපර් පඩිපෙලකට මැදි වෙච්ච පිඟන් ගොඩක් කාගෙදෝ අත වැදිලා බිම වැ‍ටුණා වගේ සද්දයක් එනවා. ඒ කවුරු හරි උස්සපු යකඩ ගොඩක් බිම පතබෑවුණු සද්දෙ... සද්දෙත් අහගෙන නහයත් අකුලගෙන තුන්වෙන් තට්ටුවට ආපු මම සම්පූර්ණයෙන් ඇරලා තිබුණු දොර ඇතුලෙන් බැල්මක් හෙලනවා. කොහෙන් කැපුවත් කිලෝ විසි හතරක් විතර වෙන්න ඇඟ තියෙන අයියා කෙනෙක් පිළිගැනීමේ මේසෙට වෙලා මොනාදෝ ලියනවා... ඊට ටිකක් එහායින් හිටිය හිතලා බලලා කැපුවොත් අමාරුවෙන් කිලෝ බාගයයි හාදයෙක් මාව දැකලා ලා බැල්මක් හෙලලා ආයෙත් හොඳට හුස්මක් අරගෙන ඇද ඇද හිටපු බර පටලපු යකඩ පොල්ල අදින්න ගන්නවා...


ඒකත් පහු කරගෙන ඊළඟ ත‍ට්ටුවට ගොඩ වෙච්ච මම පඩිපෙළ අයිනෙම දාල තිබුණු, කවුරුත් නැති පුටු පේළියෙ එකක වාඩි වෙනවා...
අවුරුදු කිහිපයකට පෙර කල මතක සැමරුම මතක් කර කර මේක කොටපු මට, මටත් උගන්නපු ඒ ගුරුතුමිය මල්ලිගෙ පන්තිය ඉවර කරන්න යන බවක් දැනෙනවා... බඩත් ගොර ගොර සද්ද දාන නිසා ඉතින් මම නවතිනවා. ඔබට සුබ රැයක්.
😊


ප.ලි. : සිද්ධි දාමය ඇතුලේ හැංගිච්ච අර්ථය ගැන හිතුනු ඔබේ අදහසුත් කොටගෙන යනවා නම් වටිනවා. J


2 comments:

  1. නියමයි විදුර!
    ගංගනාත් දිසානායකගේ පැණි වළලු වගේ ��

    ReplyDelete
    Replies
    1. කවුද කියල නොපෙනුනත් මගේ නම දන්නා නිසා මාව දන්නා කෙනෙක් කියල හිතනවා.ස්තුත්යි මිත්‍රයා. :-) ඒ වගේ වෙන්න තමයි ඇත්තටම ලිව්වෙත්.

      Delete