Wednesday, July 13, 2016

අ(ා)ලය

මේක ටිකක් අමුතු ලිවිල්ලක්. හේතුව අද දවසට කොටන තුන්වෙනි ලිපිය වගේම, ලියන්නෙ අද දවස ඉවර වෙන්න විනාඩි දහනමයක් තියාගෙන.
අඩි පහක් විතර ඈතින් බිත්තියට එක පැතතක් හේත්තු වෙන්න තියපු ඇඳේ නිදාගෙන ඉන්න මල්ලිගෙ හුස්ම වැටෙන සද්දෙයි, ම‍ේ කාමරෙත්, තව කාමරේකත් ඔරලෝසු වල තප්පර කටු වල ටොක ටොකෙත් විතරයි ඇහෙන්නෙ. ඒ අතරෙ එළියෙ රැහැයියෙක් කෑ ගහන සද්දෙත්, බස් වල බ්රේක් සද්දත් ලාවට සැරින් සැරේට ඇහෙනවා.
මුනින් අතට අැඳේ වැතිරිලා හිටපු මම බෙල්ල ඇදුං කන නිසා අනික් පැත්ත හැරුණම, අද හඳ නැති දවසක් බව පෙනුනෙ, හඳ තියෙනවා නම් අනිවාර්යයෙන් මගෙ කාමරේ ජනේල වලින් හොල්මන් බේරෙන හඳ එළියක් වැටෙන නිසා.
හඳ එලිය ගැනත් කියාගෙන මම මේ පල්ලං බහින්නෙ හරියට සතියකට කලින් දුටු සිද්ධියක් ගැන පණ්ඩිත පසු විපරමක් කරන්න. 😂
සිද්ධිය තමයි පෙම් ආරවුලක්. ඉකිය තද කරගෙන හඬන කෙල්ලත්, ඇය අස්වසන්නට මොනාදෝ බෙරි කරගත්තු මූණින් යුතුව කියන කොල්ලත් එතන හිටිය අයගෙ ඇස් කොනින් ලද බැලුමින් නැහැවී හිටියත් එයාලට ඒක ගානක් ගිහින් තිබුණේ නැහැ.
හැබෑට ඉතිං ඒක එහෙම වෙන්නත් එපැයි.  කියන්න අමතක උනානෙ, මේ සිද්ධිය වෙන්නෙ නුවර ප්‍රධාන බස් නැවතුම්පොළේ. 
Image from Google
එ කියන්නෙ අධික ජන ඝනත්වයක තියෙන තැනක්. විමසුම් ඇස් කීයක් ඒ පලහිලව්වට යොමුවෙන්න ඇති ද කියලා හිතා ගන්නකො ඉතිං. බස් නැවතුමේ හමු උනු නිසාත්, දුටු පමණින් මට හිතුනු නිසාත් ඒ යුවල උ.පෙ ඉගෙනන්න වයසෙ වෙන්න ඕනි. මේ ජවනිකාව දැකලා මට අතීත කතා, මම කළ ගොං කං වගේම කරන්න ගිහින් කරගන්න බැරි වෙච්ච ගොං කනුත් මතක් උනා.
ඒත් ඒක ගොං කමක් ද කියන ප්‍රශ්නයත් මගෙ හිතට කාන්දු උනේ, ඒ අවස්තාවලදි ලබපු අත්දැකීම් ජීවිත කාලෙටම අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් කියලා දැන් තේරෙන නිසා.
හැඟීම් වලට වහල් වීම, මොළයෙන් නොව හදවතින් තීරණ ගැනීම, අවස්තාවන් මග ඇරීම, නිවැරදි වෙලාවට තීරණ ක්‍රියත්මක නොකිරීම වගේ මෙකී නොකී ගොං කං වල දිට්ඨදම්මවේදනීය කර්ම විපාක විඳවන්න හොඳම කාලය මේ ආලය කරන කාලය බවයි මගේ හැඟීම.
ඒ වගේම පුදගලයින් විවිධාකාර නිසා ආල ජෝඩුත් විවිධාකාර උනත්, මේ කියපු කාරණා අඩු වැඩි වශයෙන් ඒ ආල කතාවලත් තියෙනවා කියලා හිතෙනවා.
ඔය කෝක කොහොම වෙතත් අමෘතෙ උනත් වැඩිය බිව්වොත් සීනි අමාරුව හැදෙනවා වගේ, ආලය වැඩි උනාමත් මිනිස්සු අලයො වෙනවා. මොක ද ආලය වැඩි උනාම මිත්‍රයො එක්ක පිස්සුවක් කෙලගෙන ජොලියෙ හිටපු කොල්ලො වගේම කෙල්ල‍ොත් තම ආලවන්තයා හෝ තිය එක්ක ආලෙන් වෙලී එතී ඇඹරී මෙලෝ රහක් නැතුව යන නිසා.
ඒක නම් කිව්වෙ මේ මගේම මිත්‍රයෙක් මතක් කරගෙන. 😏
ආලයට දෙපැත්ත කැපෙන පිහියක් කියන්න මම කැමති ඒ නිසයි. මනුස්ස අපිට ආලය නැතුවත් බැරිය. ඒත් අඩු හෝ වැඩි නොවන ලෙස පමණ දැන නිවැරදි වෙලාවට නිවැරදි ලෙස කළමනාකරණය කරගෙන පාවිච්චි කිරීම යුගලනය වූ, වෙන්නට බලාපොරොත්තු වන ඔබ අතේය.
වෙන අය කෙල්ල එක්ක පුෂ්ප නෙළන සමය කැප කර මේ ලිපිය ලියූ මා නෙත් දැන් කඳලින් බරව ඇත්තෙ එදා ඒ දුටු කෙල්ලගෙ නෙත් වාගේමය. ඉතිං මම නිදමි. පවන් සලන්නට කෙනෙක් නැති නිසා. කවුළු පියන් ඇරිය යුතුය. 😋 සු.උ.
ප.ලි: අද උදේ මේක ආයෙත් කියවපු වෙලේ, නිදි මරගාතෙ ලියපුවාගේ හරියටම වාක්‍යය ගැලපිලා නැති ගතියක් දැනුනත් අව්‍යාජත්වය මැකිලා යන නිසා ඒවා හරිගස්සන්නෙ නැහැ. ඒ වගේම කියන්නෝනි, කොට බැම්මෙදි වගේ අදත් උදේ වේලාසනින් වැඩි නිසා මාළිගාව ළඟ බැහැලා මාකැට්ටුව ගාවට ඇවිදගෙන ආ ගමනෙදි, උපකාරක පන්ති යන්න ඇවිත් ඒක පැත්තක තියලා ආලෙන් වෙලෙන්න යුගල ගැහිලා දඩාවතේ යන ජෝඩු දැකලා දුකක්, සතුටක් වගේම ජුගුප්සාවක් මිශ්‍ර වෙච්චි අමුතු හැඟීමක් දැනුනු බව. 😃

3 comments:

  1. එල මචන්.උබ කොහොමත් විවරණ වලට දක්ශයි නෙ.
    "ඒක නම් කිව්වෙ මේ මගේම මිත්‍රයෙක් මතක් කරගෙන" මේක කිව්වෙ කාටද බන්��������

    ReplyDelete
  2. එල මචන්.උබ කොහොමත් විවරණ වලට දක්ශයි නෙ.
    "ඒක නම් කිව්වෙ මේ මගේම මිත්‍රයෙක් මතක් කරගෙන" මේක කිව්වෙ කාටද බන් ����

    ReplyDelete
    Replies
    1. Eeka meke kiyana eka hari naha mama hithanne... 😁

      Delete